පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය බන්ධනාගාරය තුළ පිරිහෙමින් පවතින බව ඔහුගේ පුතුන් වන කාසිම් සහ සුලෙයිමාන් ඛාන් පවසනවා. ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන් සඳහන් කර ඇත්තේ මාස හයක පමණ කාලයක සිට සිය පියා සමඟ දුරකථනයෙන් පවා සම්බන්ධ වීමට අවස්ථාවක් නොලැබුණු බවයි.
පවුලේ සාමාජිකයෙකුට අනුව ඉම්රාන් ඛාන් අධි රුධිර පීඩනය, හෘද ස්පන්දන ගැටලු සහ දැඩි මානසික පීඩනයෙන් පෙළෙන බවද ඔහුගේ පුතුන් ප්‍රකාශ කර තිබෙනවා. කුඩා, අඳුරු සහ අධික උණුසුම් සිර මැදිරියක රඳවා ඇති බවත්, බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට සහ කියවීමේ ද්‍රව්‍ය ලබාගැනීමට දැඩි සීමා පනවා ඇති බවත් ඔවුන් චෝදනා කරනවා. ස්වාධීන වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවකට ඉම්රාන් ඛාන් යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බවද පවුල පවසනවා.
කෙසේ වෙතත්, පාකිස්ථාන රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉම්රාන් ඛාන් වෛද්‍යමය වශයෙන් යහපත් තත්ත්වයක සිටින බවත්, ඥාතීන් සමඟ දුරකථන සම්බන්ධතා සඳහා අවස්ථාව ලබාදී ඇති බවත් සඳහන් කරනවා. මේ අතර හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයන් ද ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය බන්ධනාගාර පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. වසර තුනකට වැඩි කාලයක් සිරගතව සිටියද ඉම්රාන් ඛාන් තවමත් පාකිස්ථාන දේශපාලනයේ ප්‍රබල බලවේගයක් ලෙස පවතින බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.


















