2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අගෝස්තු 31 සිට සැප්තැම්බර් 05 දක්වා භූතානයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය සාර්ථකව නිමා කරමින් අද (සැප්තැම්බර් 06) යළි දිවයිනට පැමිණ තිබේ.
සිය සංචාරය අතරතුර අගමැතිවරිය භූතානයේ ජිග්මේ ඛේසාර් නම්ගියෙල් වංචුක් (Jigme Khesar Namgyel Wangchuck) රජතුමා හමුවූ අතර, එරට අග්‍රාමාත්‍ය දාශෝ ත්සේරින්ග් තොබ්ගේ (Dasho Tshering Tobgay) මහතා සහ අධ්‍යාපන අමාත්‍යවරිය සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කළාය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නියෝජිතයන් හමුවීම මෙන්ම භූතාන නවෝත්පාදන විද්‍යාගාරයේ (BIL) කටයුතු නිරීක්ෂණය කිරීම ද ඇගේ සංචාරයේ ප්‍රධාන අංග විය. අග්‍රාමාත්‍යවරිය තිම්පුහි තාෂිචෝ ඩ්සොං විහාරස්ථානය වැද පුදා ගැනීම ඇතුළු ඓතිහාසික හා සංස්කෘතික ස්ථාන කිහිපයක් නැරඹීමටද එක් වූ අතර, සංචාරය නිමා කරමින් ‘Royal Bhutan Airlines’ (KB 200) ගුවන් යානයෙන් දිවයිනට ළඟා වූවාය.














