සෑම සිසුවෙකුටම ආරක්ෂාව සහ ගෞරවය දැනෙන, විවේචනාත්මකව සිය අදහස් ප්‍රකාශ කළ හැකි ස්ථාන බවට විශ්වවිද්‍යාල පත් කළ යුතු බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ පැවති විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටු (CVCD) සම්මන්ත්‍රණය 2026 සඳහා එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවය කරන සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටම ආරක්ෂිත සහ ගුණාත්මක වෘත්තීය පරිසරයක වැඩ කිරීමට හැකි වටපිටාවක් නිර්මාණය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 22 ක උපකුලපතිවරුන් සහ මණ්ඩප අධ්‍යක්ෂවරුන්ගේ නියෝජනයෙන් සමන්විත CVCD කමිටුවේ 500 වැනි සභාවාරය සනිටුහන් කරමින් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. නවෝත්පාදනය, ජාත්‍යන්තර පිළිගැනීම සහ ජාතික සංවර්ධනය යන ක්ෂේත්‍ර මුල් කරගනිමින් උසස් අධ්‍යාපන පද්ධතිය අනාගත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පරිවර්තනය කිරීම මෙහි අරමුණයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, විශ්වවිද්‍යාල යනු සිසුන් උපාධිය හැදෑරීම සඳහා පමණක් පැමිණෙන ස්ථාන නොවිය යුතු බවත්, තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා බිහිකරන, නායකත්ව ගුණාංග වර්ධනය කරන සහ වේගයෙන් වෙනස් වන ලෝකයට ඔවුන් සූදානම් කරන මධ්‍යස්ථාන බවට ඒවා පත් කළ යුතු බවත් සඳහන් කළේය. කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණික ප්රවණතා උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා යොදාගත යුතු අතරම, විශ්වවිද්‍යාල පරිපාලනය තුළ සයිබර් ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පිරිසක් සහභාගී වූහ.














