ජාතික කජු ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය තාක්ෂණික හා පර්යේෂණ සහයෝගය ලබාදීමේ අරමුණින්, කජු ක්ෂේත්‍රය මුහුණ දෙන වර්තමාන සහ අනාගත අභියෝග පිළිබඳ සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ කජු ගසකින් දැනට ලැබෙන්නේ කිලෝග්‍රෑම් 4ත් 5ත් අතර සාමාන්‍ය අස්වැන්නක් වුවද, නවීන තාක්ෂණික ක්‍රමවේද හරහා වෙනත් රටවල කිලෝග්‍රෑම් 20ක පමණ අස්වැන්නක් ලබාගත හැකි මට්ටමකට එය දියුණු කර ඇති බව අනාවරණය වී ඇත. රට තුළ වාර්ෂිකව බද්ධ පැල මිලියනයක පමණ අවශ්‍යතාවක් පවතින නමුත් නිෂ්පාදනය කෙරෙන්නේ පැල ලක්ෂ 3ත් 4ත් අතර ප්‍රමාණයක් වන බැවින්, ඉදිරි වර්ෂ 10 සඳහා අවශ්‍ය බද්ධ පැල විද්‍යාත්මක ක්‍රමවේද හරහා නිෂ්පාදනය කිරීමේ වැදගත්කම පාර්ශ්වකරුවන් පෙන්වා දී තිබේ.
නව ප්‍රභේද හඳුනා ගැනීම, අස්වැන්න වැඩි කර ගැනීම සහ පටක රෝපණ ප්‍රචාරණය සඳහා අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනවල පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම, රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර උපායමාර්ගික සබඳතා ඇති කරමින් වෙනත් රටවලින් ඉහළ අස්වැන්නක් ලබාදෙන ජානමය ද්‍රව්‍ය (germplasm) ආනයනය කිරීමේ යාන්ත්‍රණයන් සකස් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මීට මූලිකත්වය ගැනීම පිළිබඳව මෙහිදී පාර්ශ්වකරුවන් සිය ප්‍රසාදය පළ කළ අතර, ඊට අදාළ නිලධාරීන්, ශ්‍රී ලංකා කජු සංස්ථාව, වයඹ විශ්වවිද්‍යාලය මෙන්ම පෞද්ගලික අංශයේ කජු වැවිලිකරුවන් සහ නිෂ්පාදකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















