රට පුරා දුම්රිය ස්ථාන 100ක් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් වැඩිදියුණු කිරීමේ ජාතික වැඩසටහන යටතේ, වසර 45කට අධික කාලයක් තිස්සේ ප්‍රධාන සංවර්ධනයකට භාජනය නොවූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. කදුරුවෙල දුම්රිය ස්ථානයේ කටයුතු අවසන් වීමෙන් පසු මෙම ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කෙරෙන දෙවන දුම්රිය ස්ථානය මෙය වන අතර, මගී ප්‍රවාහනයට මෙන්ම ප්‍රදේශයේ කෘෂිකාර්මික නිෂ්පාදන රටේ අනෙකුත් ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීමට ද මෙමඟින් සැලකිය යුතු පහසුකම් සැලසෙනු ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 40ක පමණ ප්‍රතිපාදන CIC හෝල්ඩින්ග්ස් පීඑල්සී හරහා ලබාදීමට නියමිතය. ගල් ඔය සහ පොළොන්නරුව අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ පිහිටි මෙම දුම්රිය ස්ථානය වර්තමානය වන විට සීමිත පහසුකම් යටතේ ක්‍රියාත්මක වීම හේතුවෙන් දේශීය ආර්ථිකයට සහ ප්‍රදේශවාසීන්ගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතාවලට දිගුකාලීනව බලපෑම් එල්ල වී තිබිණි.
මෙම ව්‍යාපෘතිය මඟින් දුම්රිය ස්ථානයේ භෞතික යටිතල පහසුකම් ඉහළ නැංවීම පමණක් නොව, නවීන තාක්ෂණය හා ඩිජිටල්කරණය හඳුන්වා දීම මෙන්ම බස් සහ දුම්රිය සේවා ඒකාබද්ධ කරමින් පුළුල් පොදු ප්‍රවාහන සේවයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ වී තිබේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වයෙන් කෙටි, මධ්‍යම සහ දිගු කාලීන ඉලක්ක කරා ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ප්‍රවේශය හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් අත්කර දීමට අපේක්ෂිතය.














