අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයට අයත් ප්‍රධාන වාරි ජලාශ නවයෙහි ජල මට්ටම 21.5% දක්වා සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ හතරෙහි ජල මට්ටම 25.3% දක්වා දැඩි ලෙස පහළ බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මෙම උග්‍ර ජල හිඟය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතක ජන ජීවිත දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර, කෘෂිකර්මාන්තය ඇතුළු ප්‍රධාන පෙළේ කර්මාන්ත රැසකටද එල් නිනෝ තත්ත්වයේ දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.
පවතින උණුසුම් කාලගුණයත් සමඟ මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩා වැව් බොහොමයක් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර, ඇතැම් ප්‍රදේශවල පානීය ජල ගැටලුව උත්සන්න වී තිබේ. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 48ක නළ ලිං අලුත්වැඩියා කිරීමට සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාව සහ ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව හදිසි පියවර ගෙන ඇත. පොළොන්නරුව සහ මොනරාගල ප්‍රදේශවලට මෑතකදී ලැබුණු ස්වල්ප වැසි ස්වභාවය වියළි කාලගුණයට අස්වැසිල්ලක් වුවද, ඉදිරි සතිය පුරාම දැඩි උණුසුම් කාලගුණය අඛණ්ඩව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
ජල මූලාශ්‍ර අඩුවීයාම සහ වාරි ජලාශ හිඟ වීම හේතුවෙන් ඉදිරි කන්නවල කෘෂිකර්මාන්තයට සහ ග්‍රාමීය ආර්ථිකයට දැඩි බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබේ. එබැවින් පවතින නියං තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ හදිසි ජල කළමනාකරණ විධිවිධාන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වී ඇති අතර, අදාළ ආයතන මේ වන විටත් විකල්ප පානීය ජල සැපයුම් ක්‍රමවේද කෙරෙහි සිය අවධානය යොමු කර ඇත.














