විපක්ෂයේ දේශපාලනඥයන් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කොල්ලකා සුඛෝපභෝගී ජීවිත ගත කර ඇති බවත්, ඔවුන්ගේ ඉතිරිව ඇති දේශපාලන බලය ද සහමුලින්ම තුරන් කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසයි. ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා චෝදනා කළේ, විපක්ෂයේ පිරිස් මහජන මුදල් අවභාවිත කරමින් මෝටර් රථ ධාවන තරඟවල නිරත වීම, රාත්‍රී සමාජ ශාලාවල විනෝද වීම, ඉඩම් මිලදී ගැනීම සහ විවිධ සාද පැවැත්වීම වැනි කටයුතු සිදු කර ඇති බවයි.
එමෙන්ම පසුගිය සතිය තුළ පමණක් දරුණු ගණයේ අපරාධකරුවන් 70කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී අපරාධ මර්දනය සඳහා තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරණය කළේය. මෙම පියවරයන් මෙරට දේශපාලන ක්ෂේත්රයේ ද විශාල වෙනසකට මග පාදනු ඇති බවත්, විපක්ෂයට තවදුරටත් අනාගතයක් හෝ දේශපාලන පැවැත්මක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙරට විනාශ කිරීමට කටයුතු කළ එවැනි දූෂිත දේශපාලනඥයන්ගේ ඉතිරිව ඇති දේශපාලන සංස්කෘතිය සහ බලය සහමුලින්ම අහෝසි කර දැමීම වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් බව අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.













