මා ඔයේ යකා බැඳි ඇල්ල අසල දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් ඇති අතර, ඔහු බේරා ගැනීමට උත්සාහ කළ පියාද අනතුරට ලක්වීමෙන් පසු දඹදෙනිය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාල්ල පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දිවුලපිටිය, පින්නකැලේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නිමිසර ප්‍රමෝද් නැමැති 13 හැවිරිදි පාසල් සිසුවෙකි. මියගිය දරුවා, ඔහුගේ පියා සහ තවත් පිරිසක් මා ඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
දරුවා දියේ ගිලී යාමේදී ඔහු බේරා ගැනීමට යාම නිසා පියා වන හේරත් මුදියන්සේලාගේ නාමල් වසන්ත බණ්ඩාර (38) යන අයද අනතුරට ලක්ව තිබේ. ප්‍රදේශවාසීන් විසින් දරුවා ගොඩගෙන රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිට ඇති අතර, තුවාල ලැබූ පියා දඹදෙනිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.














