ශ්‍රී ලංකාවේ සෑම වසරකම සැප්තැම්බර් මාසය අධ්‍යාපනය, කියවීමේ ආශාව, ලේඛන සම්ප්‍රදාය සහ බුද්ධිමය සංවාදය පුළුල් කිරීමේ අරමුණින් සාහිත්‍ය මාසය ලෙස සමරයි. මෙවර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රධාන ජාතික පොත් ප්‍රදර්ශනය 2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසය සාහිත්‍යයට වෙන් කර සැමරීමේ ඉතිහාසය 1950 දශකයේ අගභාගය දක්වා දිවයයි. නිදහසින් පසු ඇති වූ සංස්කෘතික පුනර්ජීවනයත් සමඟ, 1956 වසරේ ප්‍රථම වතාවට සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් පිහිටුවනු ලැබූ අතර, ප්‍රථම සංවිධානාත්මක රාජ්‍ය සාහිත්‍ය උත්සවය 1957 සැප්තැම්බර් මාසයේදී කෝට්ටේ ශ්‍රී පරාක්‍රමබාහු පිරිවෙන කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.
මුල් අවධියේ සැප්තැම්බර් 08 වැනි දින ජාත්‍යන්තර සාක්ෂරතා දිනයට සමගාමීව “ජාතික සාහිත්‍ය දිනය” ලෙස සැමරුවද, පසුව එය සැප්තැම්බර් මාසය පුරා ක්‍රියාත්මක වන “සාහිත්‍ය මාසය” බවට පත් විය. විශිෂ්ටතම කෘති ඇගයීම සඳහා 1959 වසරේදී ප්‍රථම “රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල” ආරම්භ වූ අතර, එහිදී පියසේන නිශ්ශංක මහතාගේ “ගිනි සිසිල” නවකතාව ප්‍රථම ස්වතන්ත්‍ර සිංහල නවකතාව ලෙස සම්මානයට පාත්‍ර විය. අද වන විට මෙම සම්මාන උළෙල භාෂා ත්‍රිත්වයෙන්ම ක්ෂේත්‍ර 40කට අධික ප්‍රමාණයකට පුළුල් වී ඇත.
කෙසේ වෙතත්, සාහිත්‍ය මාසය තුළ පොත් ප්‍රකාශනය සහ අලෙවිය පුළුල් වුවද, කඩදාසි සහ මුද්‍රණ ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් පොත් මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාඨකයෝ හා ප්‍රකාශකයෝ පෙන්වා දෙති. කොරෝනා ව්‍යසනයෙන් පසු ඇති වූ ආර්ථික බලපෑම් සහ ඩොලරයේ අගය ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇති අතර, පොත් කර්මාන්තය නංවාලීම සඳහා මුද්‍රණ ද්‍රව්‍ය මත පනවා ඇති බදු අඩු කරන ලෙස ලේඛකයන් සහ ප්‍රකාශකයන් රජයෙන් අඛණ්ඩව ඉල්ී සිටියද, ඒ සඳහා නිසි විසඳුමක් මෙතෙක් ලැබී නොමැත. මීට අමතරව, පොතේ මිලෙන් 10%ක් වැනි අවම ප්‍රතිශතයක් ලේඛකයාට කර්තෘභාගය ලෙස ලැබීම සහ වෙළෙන්දාට 30%ත් 40%ත් අතර වට්ටමක් හිමිවීම තුළ ලේඛකයන් මුහුණ දෙන බුද්ධිමය අසාධාරණය සම්බන්ධයෙන්ද රජයේ මැදිහත්වීම අපේක්ෂා කෙරේ.














