දිවයින පුරා භාවිත වන සියලුම විදුලි වාහන (Electric Vehicles) සඳහා කොළ පැහැති පසුබිමකින් යුත් විශේෂිත අංක තහඩු නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ විදුලි වාහන සඳහා නිකුත් කෙරෙන මෙම කොළ පැහැති අංක තහඩු සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව වලංගු වන බවයි. එසේම, අනෙකුත් සාමාන්‍ය වාහන සඳහා සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වන බවද ඒ මහතා තවදුරටත් දන්වා සිටියි.
මෙයට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ලියාපදිංචි කර ඇති වාහන 88,740ක් සඳහා නව අංක තහඩු සකස් කර අවසන් කර ඇති බවයි. 2026 ජුනි 10 වැනි දින සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ ලියාපදිංචි කළ වාහන 56,233ක් සහ 2023 හා 2024 වසරවලදී ලියාපදිංචි කළ වාහන 32,507ක් මෙයට ඇතුළත් වේ.
අදාළ වාහනවල හිමිකරුවන්ට නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ අදාළ අංක තහඩු ලබා ගන්නා ලෙස කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.
















