නව පාසල් වාරය ඊයේ (07) ආරම්භ වීමත් සමඟ කොත්මලේ, පනන්ගම්මන ප්‍රදේශයේ පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට පොලිස් ජීප් රථවලින් තම පාසල් වෙත යාමට සිදුවූ අපූරු පුවතක් වාර්තා වේ.
පසුගිය සමයේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පනන්ගම්මන ප්‍රදේශය නායයෑමට ලක්වීම නිසා කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. මේ හේතුවෙන් පනන්ගම්මන ප්‍රදේශයේ සිට කොත්මලේ නව නගරයේ පිහිටි පාසල් වෙත යන දරුවන්ට සහ ගුරුවරුන්ට බස් රථ පහසුකම් නොමැතිව, නායගිය ස්ථානයේ සිට කිලෝමීටර 2ක පමණ දුරක් පා ගමනින්ම දුෂ්කරතා මධ්‍යයේ යාමට සිදුව තිබුණි.
මෙහිදී පාසල් දරුවන් මුහුණ දී ඇති අපහසුතා පිළිබඳව අවධානය යොමු කළ කොත්මලේ පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් ජීප් රථ දෙකක් යොදා ගනිමින් නායගිය ප්‍රදේශයේ සිට පාසල් දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂාකාරීව පාසල් වෙත ප්‍රවාහන කිරීමට වහා පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, කොත්මලේ ඩිපෝව සමඟ එක්ව අද (07) පස්වරුවේ සිට කොත්මලේ නව නගරයේ සිට නායගිය ස්ථානය දක්වා විශේෂ බස් රථ සේවාවක් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කොත්මලේ පොලිසිය සඳහන් කරයි.
















