කිසිදු විදේශ ණයක් ලබා ගැනීමකින් තොරව දේශීය මුදල් පමණක් යොදාගනිමින් අධිවේගී මාර්ග තුනක වැඩකටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ‘ආණ්ඩුවට වසර දෙකයි – රටට සුභයි’ ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ගලගෙදර – රඹුක්කන, ඉංගිරිය – කහතුඩුව සහ කුරුණෑගල – ගලේවෙල යන අධිවේගී මාර්ග කොට්ඨාසවල ඉදිකිරීම් කටයුතු මෙලෙස ස්වයං අරමුදල් මත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.
මීට අමතරව, මෙරට දුම්රිය මාර්ග පද්ධතිය විද්‍යුත්කරණය කිරීමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය ද ආරම්භ කරන බව ජනාධිපතිවරයා මෙහිදී නිවේදනය කළේය. එහි පළමු පියවර ලෙස පානදුර සිට මරදාන දක්වා ද, මල්ලපාන සිට මරදාන දක්වා ද, රාගම සිට මරදාන දක්වා ද වන දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමට නියමිත අතර, ඇස්තමේන්තුගත වියදම රුපියල් කෝටි 60,000ක් වන මෙම ව්‍යාපෘතියේ ටෙන්ඩර් පිරිනැමීම එළඹෙන නොවැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිතය. ලබන වසරේ අයවැය මගින් මේ සඳහා රුපියල් කෝටි 10,000ක මුදලක් වෙන් කිරීමටද රජය සැලසුම් කර ඇත.
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි ගෞරවාන්විත හා ආර්ථික ස්ථාවරත්වයක් සහිත රටක් බවට ජාතික ජන බලවේග රජය පත්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඉදිරියේදී දේශීය සම්පත් උපරිමයෙන් කළමනාකරණය කරමින් යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කරන බව වැඩිදුරටත් අවධාරණය කළේය.
















