එක්සත් රාජධානියේ පෝර්ට්ස්මවුත් (Portsmouth) හිදී 14 හැවිරිදි පිරිමි ළමයෙකු දූෂණය කිරීම ඇතුළු බරපතළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඉරාක ජාතිකයෙකුට එරෙහිව නඩු පවරා ඇති බව හැම්ප්ෂයර් සහ අයිල් ඔෆ් වයිට් (Hampshire and Isle of Wight) පොලීසිය ප්‍රකාශ කරයි. මෙලෙස චෝදනාවලට ලක්ව ඇත්තේ ස්ථිර පදිංචියක් නොමැති 33 හැවිරිදි සාදික් ෆර්හාද් අසාද් (Sadiq Farhad Azad) නැමැති ඉරාක ජාතිකයෙකි.
පොලිස් වාර්තා සපයන තොරතුරු අනුව, ඉකුත් අගෝස්තු 11 වනදා ලන්ඩන් රෝඩ් හි අතුරු මාර්ගයකදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ. බස් රථයකදී තරුණයා සමග අහම්බෙන් කතාබහට වැටී ඇති මෙම සැකකරු, පසුව අදාළ 14 හැවිරිදි පිරිමි ළමයා මෙලෙස බරපතළ ලෙස අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මීට අමතරව, 20 ගණන්වල පසුවන කාන්තාවකට වසරක කාලයක් තිස්සේ තාඩන පීඩන එල්ල කරමින් පසුපස හඹා යාම (Stalking) සහ එම කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකුගේ මෝටර් රථයකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් ද සැකකාර අසාද්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු පෝර්ට්ස්මවුත් මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


















