මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාම වළක්වාලන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී ඉල්ලා අස්කර ගන්නා ලදී. ඉදිරියේදී අවශ්‍යතාවයක් මතුවුවහොත් අදාළ කරුණ නැවත මතුකිරීමේ අයිතිය රඳවා ගනිමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අවසර ලබාදී තිබේ.
මෙම නඩුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත්තේ රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමිනි. මීට පෙර අදාළ කුමන්ත්‍රණ චෝදනාව ඉවත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණය වෙත ද පෙත්සමක් ඉදිරිපත් කළ අතර, අභියාචනාධිකරණය විසින් එම පෙත්සම ඉවත දැමීමට පියවර ගෙන තිබුණි.
අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අභියාචනය ගොනුකර තිබූ අතර, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බලමින් අදාළ කරුණ නැවත මතුකිරීමේ අයිතිය සහිතව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අවසර ලබා දෙන ලදී.














