වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි අංකයට ලැබුණු තොරතුරකට අනුව වයඹ සහකාර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරීන් විසින් පොල්ගහවෙල සහ අලව්ව ප්රදේශවල සිදු කරන ලද වැටලීම්වලදී දැඩි ලෙස ආරක්ෂිත වන සතුන්ගේ ශරීර කොටස් සහ නීතිවිරෝධී මස් සමඟ සැකකරුවන් සහ සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොල්ගහවෙල ගොඩකවෙල ප්රදේශයේ සිදු කළ වැටලීමකදී ඕළු මුව අං තට්ටු, ගෝන අං, තිත්මුවාගේ සම්පූර්ණ සමක්, දුර්ලභ බෙල්ලන් විශේෂවල කවච, තල්මසෙකුගේ කොඳු ඇට පෙළක කොටසක් සහ මුහුදු ගල්මල් ජනපද සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, අලව්ව ඉහළ වලකුඹුර ප්රදේශයේ කුකුල් මස් අලෙවි සැලක විකිණීමට තිබූ වල් ඌරු මස් කි.ග්රෑ. 17ක් සහ ඉත්තෑ මස් කි.ග්රෑ. 6ක් සමඟ සැකකරුවෙක්ද, පොල්ගහවෙල යටගල්ඔලුව ප්රදේශයේ ගෝන සහ තිත්මුව අං සමඟ සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
තවද, පොල්ගහවෙල අලව්ව මංසන්ධිය අසල ජුවලරි ආයතනයක තිබී ඇත්දළ සුරයක් හා බ්ලැක් කොරල් පෙන්ඩන්ට් 2ක් සමඟ සැකකරුවෙක්ද, පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට හෝටලයක විකිණීමට සූදානම් කර තිබූ මීට පෙරද වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට අයත් වල් ඌරු මස් කි.ග්රෑ. 12ක් සමඟ තවත් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ එළඹෙන 18 වන දින පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














