මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා තිබේ. ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් මහතා අතින් මෙම සහතිකය ප්‍රදානය කර ඇත.
ශ්‍රී ලංකාව 2016 වසරේදී මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරනු ලැබූ අතර, එතැන් සිට වසර 10ක් පුරා එම තත්ත්වය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමට සමත් වීම මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය. මාලදිවයිනෙන් පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර, මව්වරුන් සහ අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම සාර්ථකව තුරන් කළ තත්ත්වය ද දශකයක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන ගොස් ඇත. රටේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය, ඉහළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සහ කාර්යක්ෂම රෝග විමර්ශන පද්ධතිය මෙම සෞඛ්‍ය ජයග්‍රහණ දිගුකාලීනව රඳවා ගැනීමට හේතු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.













