මහනුවර ඓතිහාසික ගැරිසන් සුසාන භූමිය සංරක්ෂණය හා නඩත්තුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමා සහ ආරක්ෂක උපදේශක කර්නල් මයිල්ස් මහතා, ලංකාවේ ඇන්ග්ලිකානු සභාවේ මහනුවර ශාන්ත පාවුලූ දේවස්ථානයේ ගරු රසික අබේසිංහ පියතුමා ඇතුළු පාලක මණ්ඩලය සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) පෙරවරුවේ මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.
1817 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම බ්‍රිතාන්‍ය බලකොටු සොහොන් පිටිය, ශ්‍රී ලංකාවේදී මැලේරියාව සහ කොලරාව වැනි වසංගත රෝගවලින් මෙන්ම අනතුරුවලින් ජීවිතක්ෂයට පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මිහිදන් කර ඇති ඓතිහාසික ස්ථානයකි. ශ්‍රී දළදා මාලිගා භූමියට යාබදව, බෞද්ධ සිද්ධස්ථානයක් අසල මෙවැනි ක්‍රිස්තියානි සොහොන් පිටියක් පිහිටා තිබීම මෙරට ආගමික හා සංස්කෘතික සහජීවනයේ අපූරු සංකේතයක් වන අතර, පුරාවිද්‍යාත්මක රක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙහි සොහොන් ගැබ් 195ක් පමණ පවතී. අදටත් බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් එක්ව මෙම සුසාන භූමිය රැකබලා ගැනීම විශේෂත්වයකි.













