උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවලට අයත් ළමුන් සහ නව යොවුන් වියේ පසුවන දරුවන්ගෙන් වසරකට නව පිළිකා රෝගීන් 900ත් 1000ත් අතර සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩි වශයෙන් හඳුනාගැනීමට ලක්ව ඇත්තේ ලේ පිළිකාව (ලිව්කේමියාව), වසා ග්‍රන්ථි ආශ්රිත පිළිකාව (ලිම්ෆොමාව), මොළය ආශ්රිත පිළිකාව, අස්ථි ආශ්රිත පිළිකාව සහ ඇස් ආශ්රිත පිළිකා බව වෛද්‍යවරයා පෙන්වා දී ඇත. කෙසේ වෙතත්, ඕනෑම පිළිකාවක් පිළිබඳව මුල් අවධියේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් එය සුව කර ගැනීමට ඇති හැකියාව ඉතා ඉහළ බව ඔහු අවධාරණය කළේය. ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර ඇතිවන පිළිකා සහ ප්‍රතිකාර පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් ලොව පුරා සැප්තැම්බර් මාසය “ළමා පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය” ලෙස නම් කර ඇත.














