රුපියල් පන්කෝටි තිස්හත් ලක්ෂ විසිදහසක් (53,720,000) පමණ වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙමටගොඩ සහ තොටළඟ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 35 පසුවන මෙම සැකකාරියන් දෙදෙනා අද (09) උදෑසන 10.55ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-403 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ ඇත.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ වායු කාන්දු නොවන ලෙස සකස් කළ පාර්සල් 5ක අසුරා තිබූ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 372ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.














