ශ්‍රී ලංකාවේ වෙරළබඩ තීරයේ ජීවත්වන ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කරන අතරම, සාගර හා ජලජ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය මගින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වසර ගණනාවක් පුරා වැලි තැන්පත් වීම හේතුවෙන් සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති ඔලුවිල් ධීවර හා වාණිජ වරාය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. නිසි විද්‍යාත්මක සක්‍යතා අධ්‍යයනයන් නොමැතිව වරාය ඉදි කිරීම නිසා මෙලෙස වැලි තැන්පත් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තාවකාලික විසඳුම් වෙනුවට ජනාධිපති කාර්යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන පරිදි ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවා මෙම ගැටලුවට දීර්ඝකාලීන විද්‍යාත්මක විසඳුමක් ලබා දීමට පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.














