ලබන පෙබරවාරියේදී අයිස්ලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනතින් වාණිජමය තල්මසුන් දඩයමට පූර්ණ සහ ස්ථිර තහනමක්
අයිස්ලන්ත රජය විසින් වාණිජමය වශයෙන් තල්මසුන් දඩයම් කිරීම පූර්ණ වශයෙන් තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් එළඹෙන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිමි රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, මෙම තහනම ක්‍රියාත්මක වීමත් සමඟ ලෝකයේ වාණිජමය වශයෙන් තල්මසුන් දඩයම් කරන එකම රටවල් බවට නොර්වේ රාජ්‍යය සහ ජපානය පමණක් පත්වනු ඇත.
වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ‘ෆින්’ (Fin whales) විශේෂයේ තල්මසුන් ප්‍රධාන වශයෙන් දඩයම් කිරීමට එරෙහිව සත්ව සංරක්ෂණ සංවිධාන සහ ජාත්‍යන්තර මට්ටමේ දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. මෙම වසරේ ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළදීත් තල්මසුන් 80 දෙනෙකු දඩයම් කර ඇති අතර, නව පනත සම්මත වීමත් සමඟ අයිස්ලන්තයේ සියවස් ගණනාවක් පැවැති මෙම කර්මාන්තය මුළුමනින්ම නතර වනු ඇත.













