කෘතිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය බලශක්තිය සැපයීමට න්‍යෂ්ටික බලගාර 8ක් සහ ස්වාභාවික වායු ව්‍යාපෘතියක් ඇමෙරිකාවේ ඉදිකිරීමට දකුණු කොරියාවෙන් දැවැන්ත සැලසුමක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘතිම බුද්ධි (AI) තාක්ෂණික යටිතල පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 100කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත බලශක්ති ආයෝජන ව්‍යාපෘතියක් ප්‍රකාශයට පත් කිරීමට දකුණු කොරියාව සූදානම් වන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) පුවත්පත වාර්තා කරයි. මෙම ගිවිසුම යටතේ ඇමෙරිකාව තුළ න්‍යෂ්ටික විදුලි බලගාර 8ක් දක්වා ඉදිකිරීමට සහ ටෙක්සාස් හි ස්වාභාවික වායු විදුලි බලාගාරයක් පිහිටුවීමට දකුණු කොරියානු මුල්‍ය ප්‍රතිපාදන හිමිවීමට නියමිතය.
දකුණු කොරියානු නිෂ්පාදන සඳහා ඇමෙරිකාව පනවන තීරුබදු 15%ක මට්ටමක පවත්වාගෙන යාමේ හිලව්වක් ලෙස ඩොලර් බිලියන 350ක ආයෝජන ඇමෙරිකාවට ලබාදීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුං (Lee Jae Myung) අතර මීට පෙර ඇතිවූ වෙළඳ ගිවිසුමට අනුව මෙම පියවර ගැනේ. පළමු න්‍යෂ්ටික බලගාරය ඇමෙරිකානු ‘Westinghouse Electric’ සැලසුමකට අනුව ඉදිකරන අතර පසුව ඉදිකරන බලගාර සඳහා දකුණු කොරියාවේ KEPCO සමාගමේ තාක්ෂණය යොදාගැනීමට සැලසුම් කර ඇත.













