මීට පෙර රුපියල් ලක්ෂ හයක මුදලක් ලබා දුන් මරණ වන්දිය මෙලෙස ලක්ෂ 20 දක්වා වැඩි කර ඇති අතර, මියගිය ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ ඥාතීන් වෙත රුපියල් කෝටි 7ක මුදලක් වන්දි වශයෙන් ලබා දී තිබේ.
විදේශ රැකියාව අතරතුරදී මරණයට පත්වන විදේශගත ශ්‍රමිකයින් සඳහා ලබාදෙන මරණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ. විදේශ රැකියාව අතරතුර මරණයට පත්වන අයෙකුට මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ හයක මුදලකි. වාර්ෂිකව විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 250 දෙනෙකුට පමණ අවාසනාවන්ත ලෙස දිවි අහිමි වන අතර, මෙම තත්ත්වය අවම කරගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශගත ශ්‍රමිකයින් වාර්ෂිකව මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් ප්‍රේෂණ වශයෙන් ලබාදෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අඩු පොලියක් යටතේ රුපියල් මිලියන 10ක නිවාස ණය ලබාදීමේ වැඩසටහනක් බැංකු හරහා ක්‍රියාත්මක කරන බවත්, ඊට අමතරව පාසල් දරුවන්ට උපකරණ සහ වාර්ෂික ශිෂ්‍යත්ව දීමනා වැනි සුබසාධන පහසුකම් ලබාදෙන බවත් වැඩිදුරටත් කියා සිටියේය.
















