කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත බවක් ඇති නොවන පරිදි පරිසරයක් සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ හින්දු, කතෝලික හා මුස්ලිම් ආගමික නායකයින් අතර විශේෂ හමුවක් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන්ගේ ස්වභාවය වටහාගෙන නැවත එවැනි ගැටුම් ඇතිවීම වැළැක්වීම සැමගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කිසිදු ප්‍රජාවකට අනාරක්ෂිත බවක් නොදැනෙන පරිදි මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ අරමුණ බව ප්‍රකාශ කළේය.
මෙම හමුව සඳහා එක් වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයින්, හින්දු සහ කතෝලික ආගමික නායකයෝ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් සිය පූර්ණ සහාය පළ කළහ. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම, ඉස්ලාම් ආගමික ග්‍රන්ථ සම්බන්ධ ගැටලු විසඳා ගැනීම, ජාතික මට්ටමේ පාලන ආයතන තුළ මුස්ලිම් ප්‍රජාවගේ නියෝජනය සහ කතෝලික ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය. ජාතීන් අතර වෛරය පැතිරවීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ආගම් හෝ සංස්කෘතීන් මුල් කර ගනිමින් යළි නොසන්සුන්තාවන් ඇති වීමට ඉඩ නොදෙන බව සඳහන් කළේය.














