ශ්‍රී ලංකීය සිනමාවේ සුවිශේෂී කලා මංගල්‍යය වන 37 වන සරසවිය සිනමා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වී ඇත. “තරුණ සිනමාවේ අරුණෝදය” යන තේමාව යටතේ ලේක්හවුස් ආයතනය සහ ‘සරසවිය’ පුවත්පත එක්ව සංවිධානය කළ මෙම උළෙලේදී, ගිය වසර තුළ නවක අධ්යක්ෂවරුන් රැසක් ලාංකේය සිනමාවට පිවිසීම විශේෂයෙන් සලකුණු කර තිබේ.
පසුගිය වසර තුළ තිරගත වූ සිංහල සිනමාපට ඇගයීමට ලක් කරමින් තරඟකාරී අංශ යටතේ සම්මාන රැසක් ප්රදානය කර ඇති අතර, මෙහිදී ප්‍රවීණ කලාකරුවන් රැසක් වෙත සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන හිමි විය. උත්සව සභාව අමතමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයින් නැවත පැමිණීම සුබදායක ලකුණක් බවත්, ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට මෙරට චිත්‍රපටයක් සූදානමින් සිටින බවත්ය. කථානායකවරයා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ලේක්හවුස් ආයතනයේ ප්‍රධානීන් ඇතුළු කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම කලා මංගල්‍යය සාර්ථකව නිමාවට පත්ව ඇත.














