එක්සත් ජාතීන්ගේ කාන්තාරීකරණයට එරෙහි සම්මුතියේ (UNCCD) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව, පාරිසරික ආරක්ෂණය, කෘෂිකර්මාන්තය සහ වෙළඳ ක්ෂේත්රයන්හි ජාත්‍යන්තර සහයෝගීතා අවස්ථා රැසක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.
පරිසර අමාත්‍ය ආචාර්ය දම්මික පටබැඳි මහතාගේ මොන්ගෝලියානු නිල සංචාරයෙන් පසු පරිසර අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය. රටවල් රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුව තුළදී ශ්‍රී ලංකාව සිය ජාතික පාරිසරික හා දේශගුණික අරමුණු ජාත්‍යන්තර තලයට ගෙන යාමට කටයුතු කර ඇත. සංචාරය අතරතුර මොන්ගෝලියාව, ඉරානය සහ ෆීජී යන රටවල නියෝජිතයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් තිරසාර භූ කළමනාකරණය, කෘෂිකාර්මික තාක්ෂණ හුවමාරුව සහ තේ, පොල් සහ කොකෝවා ආශ්රිත නිෂ්පාදනවල අගය එකතු කිරීමේ අවස්ථා පුළුල් කරගැනීමට එකඟතාව පළ වී තිබේ.














