ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ස්ටාර්ට්අප් සමාගමක් වන ‘Pixxel’ ආයතනය සිය Series C අරමුදල් රැස්කිරීමේ වටය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 30කට ආසන්න) දැවැන්ත ආයෝජනයක් දිනා ගනිමින් ඉතිහාසගත වීමට සමත්ව තිබේ. ඉන්දීය රජය අභ්‍යවකාශ ක්ෂේත්‍රය පෞද්ගලික අංශය වෙත විවෘත කිරීමෙන් අනතුරුව, එරට අභ්‍යවකාශ තාක්ෂණික සමාගමක් විසින් එකවර ලබාගත් ඉහළම ආයෝජනය ලෙස වාර්තා අතරට එක්වන මෙම සංවර්ධනය හරහා කලාපීය තාක්ෂණික වෙළඳපොළ තුළ ඉන්දියාවේ ස්ථාවරය තවදුරටත් තහවුරු වී ඇත.
සිංගප්පූරුවේ ‘Temasek’ රාජ්‍ය ආයෝජන අරමුදල සහ බ්‍රිතාන්‍යයේ ‘Seraphim’ අභ්‍යවකාශ සමාගම මෙහෙයවූ මෙම අරමුදල් රැස්කිරීම සඳහා ගූගල් සමාගමේ අනුග්‍රහය ලබන ‘රැඩිකල් වෙන්චර්ස්’ මෙන්ම ‘360 වන් ඇසට්’ වැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ආයෝජකයන් රැසක් දායක වී තිබේ. මෙම නව අරමුදල් එකතු වීමත් සමඟ ‘Pixxel’ සමාගම මෙතෙක් ලබාගත් සමස්ත ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 195 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඔවුන්ගේ අතිනවීන ‘Hyperspectral’ චන්ද්‍රිකා තාක්ෂණය සහ ‘Aurora’ පෘථිවි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංග ව්‍යාපෘති පුළුල් කිරීමට මනා පිටිවහලක් වනු ඇත.
උසස් තත්ත්වයේ පෘථිවි නිරීක්ෂණ දත්ත මත පදනම්ව රාජ්‍ය ආයතන සහ කර්මාන්ත සඳහා නිවැරදි තීරණ ගැනීමට පහසුකම් සපයන පුළුල් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කිරීම සමාගමේ මූලික අපේක්ෂාව වී තිබේ. ඉදිරියේදී ගෝලීය අභ්‍යවකාශ වෙළඳපොළ තුළ වාණිජ සහ රාජ්‍ය මෙහෙයුම් සඳහා වැඩි ඉල්ලුමක් අපේක්ෂා කළ හැකි බැවින්, මෙම ආයෝජනය මඟින් ඉන්දීය පෞද්ගලික අභ්‍යවකාශ අංශයට ජාත්‍යන්තර මට්ටමින් දැවැන්ත තරගකාරී වාසියක් හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.














