යතුරුපැදි, තඹ කම්බි සහ ජංගම දුරකථන සොරකම් කිරීම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආඩිඅම්බලම ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස යතුරුපැදියක් කොටස්වලට ගලවමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක් සහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් සොරකම් කරන ලද යතුරුපැදියක් සොයාගෙන ඇත.
පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී මෙම සොරකමට ආධාර අනුබල දුන් අනෙක් සැකකරු සීදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ආඩිඅම්බලම සහ සීදූව පදිංචිකරුවන් වන වයස අවුරුදු 22 සහ 25 අතර පසුවන මෙම සැකකරුවන්ගෙන් කටුනායක සහ සීදූව ප්‍රදේශවල සිදු වූ තඹ කම්බි සොරකම්, ජංගම දුරකථන සොරකම් සහ තවත් යතුරුපැදි සොරකම් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.















