ඉන්දියාවේ Unified Payments Interface හෙවත් UPI ඩිජිටල් ගෙවීම් පද්ධතිය තවත් රටවල ගෙවීම් ජාල සමඟ සම්බන්ධ කරමින් එහි ජාත්‍යන්තර භාවිතය තවදුරටත් පුළුල් කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
මුම්බායිහි පැවති මූල්‍ය තාක්ෂණ සමුළුවක් අමතමින් මෝදි සඳහන් කර ඇත්තේ විශාල ඉන්දීය ඩයස්පෝරාවක් සිටින සහ ඉන්දියාව සමඟ ශක්තිමත් වෙළෙඳ සබඳතා පවතින රටවල් වෙත UPI පද්ධතිය ප්‍රමුඛත්වය ලබා දෙමින් ව්‍යාප්ත කළ යුතු බවයි.
ඉන්දියාවේ National Payments Corporation of India හෙවත් NPCI විසින් ක්‍රියාත්මක කරන UPI පද්ධතිය, ගනුදෙනු සංඛ්‍යාව අනුව ලොව විශාලතම ක්ෂණික සිල්ලර ගෙවීම් පද්ධතිය ලෙස 2025 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවකින් හඳුන්වා දී ඇති බව සඳහන් වේ.
නවතම දත්ත අනුව අගෝස්තු මාසයේදී පමණක් UPI හරහා ගනුදෙනු බිලියන 24.51ක් සිදුකර ඇති අතර, එම ගනුදෙනුවල සමස්ත වටිනාකම ඉන්දීය රුපියල් ට්‍රිලියන 29.82ක් වන අතර එය අමෙරිකානු ඩොලර් බිලියන 314කට අධික වටිනාකමක් බව සඳහන් වේ.
UPI පද්ධතිය මේ වනවිට රටවල් 11ක ක්‍රියාත්මක වන අතර සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය සහ නේපාලයද ඒ අතරට ඇතුළත් වේ.
2023 වසරේදී ඉන්දියාවේ UPI පද්ධතිය සහ සිංගප්පූරුවේ PayNow ගෙවීම් පද්ධතිය අතර සම්බන්ධතාවක් ඇති කිරීමත් සමඟ දෙරට අතර ක්ෂණිකව මුදල් හුවමාරු කිරීමේ පහසුකමද හඳුන්වා දෙනු ලැබීය. ඒ සඳහා ජංගම දුරකථන අංකයක් හෝ Virtual Payment Address එකක් භාවිත කිරීමට හැකියාව ලබාදී තිබේ.
UPI පද්ධතිය තවත් රටවල ගෙවීම් ජාල සමඟ සම්බන්ධ කිරීම හරහා විදේශගතව සිටින ඉන්දියානුවන්ට සිය රටට මුදල් යැවීමේදී වැයවන ගාස්තු අඩු කිරීමටත්, දේශසීමා හරහා සිදුකරන මුදල් ගනුදෙනු වඩාත් පහසු සහ වේගවත් කිරීමටත් හැකිවනු ඇති බව මෝදි පෙන්වා දී ඇත.
ඉන්දීය රජය සහ එරට මහ බැංකුවද UPI පද්ධතියේ ජාත්‍යන්තර භාවිතය පුළුල් කිරීම සඳහා පසුගිය කාලය පුරා ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර, එමඟින් ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ජාත්‍යන්තර මට්ටමින් තවදුරටත් ව්‍යාප්ත කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.













