ඉරානයේ සහාය ලබන යේමනයේ හවුති සටන්කාමීන් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධියේ පිහිටි උපායමාර්ගික පෙරීම් (Perim) දූපත සහ ඊට මුහුණලා පිහිටි ධුබාබ් (Dhubab) නගරය අත්පත් කරගෙන ඇති බව යේමන රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම වර්ධනයත් සමඟ ලොව ප්‍රධානතම නාවික සහ තෙල් ප්‍රවාහන මාර්ගයක් වන බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් හවුති සටන්කාමීන්ගේ පාලනය තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, සෞදි අරාබියේ ප්‍රධාන තෙල් නළ මාර්ගයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එය තාවකාලිකව වසා දැමීමටද සිදුව තිබේ. මැදපෙරදිග උද්ගතව ඇති මෙම තත්ත්වය හමුවේ ගල්ෆ් කලාපයේ තෙල් සැපයුමට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, සෞදි අරාබිය අමෙරිකාවෙන් හමුදා සහාය ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.













