රට පුරා නගර 26ක් ජනතා කේන්ද්‍රීය, ආරක්ෂිත සහ තිරසාර නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව රජය පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී මෙම “Life Cities” (ජීවන නගර) සංවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, එහි පළමු අදියර යටතේ මාතර, මඩකළපුව, මාතලේ, වව්නියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගර 10ක් තෝරාගෙන ඇත. කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදි කිරීමෙන් පමණක් නගර සංවර්ධනය කළ නොහැකි බවත්, නගරය මිනිසුන්ට මෙන්ම සතුන්ටද අයිති ආරක්ෂිත තැනක් විය යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය. පළාත් පාලන නියෝජිතයන් වෙත ව්‍යාපෘති සැලසුම් භාර දීම සිදු වූ අතර, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ පළාත් පාලන ආයතන පෙන්වන ප්‍රගතිය මත ඉදිරි ප්‍රතිපාදන වෙන් කරන බවයි.













