රට තුළ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීම විධිමත් ලෙස නියාමනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව සහ පුළුල් පනත් කෙටුම්පතක් හඳුන්වා දී තිබේ. මෙම නව ව්‍යවස්ථාව යටතේ සෑම පළාත් පාලන ආයතනයකම පරිපාලන සීමාවන් තුළ සිටින සති හයකට වැඩි වයසැති සෑම සුනඛයෙකුටම වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබා දී අදාළ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව සමඟ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇති අතර, එලෙස ලියාපදිංචි කිරීමට අපොහොසත් වන පුද්ගලයින් සඳහා රුපියල් 2,000ක දඩ මුදලක් නියම කර ඇත.
සුනඛ ගහනය විද්‍යාත්මකව පාලනය කිරීම, එන්නත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ වාණිජමය අරමුණු සඳහා සිදු කෙෙන සුනඛයින් බෝ කිරීමේ මධ්‍යස්ථාන දැඩි නියාමනයකට ලක් කිරීම මෙම පනතේ මූලික අපේක්ෂාව වී තිබේ. ඒ අනුව, බලපත්‍ර රහිතව වාණිජමය අරමුණු සඳහා සුනඛයින් බෝ කිරීම සහ පැටවුන් විකිණීම තහනම් කර ඇති අතර, සෑම පළාත් පාලන ආයතනයක්ම තම බලප්‍රදේශයේ සිටින වීදි සුනඛයින් වඳභාවයට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමද මෙමඟින් අනිවාර්ය කර ඇත.
මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ සත්ත්ව සුභසාධනය ඉහළ නැංවීම වෙනුවෙන් රජය ගෙන ඇති මෙම කාලෝචිත පියවර හරහා රට තුළ වගකීම් සහගත සුනඛ හිමිකරුවන් බිහි කිරීමට මනා පිටුබලයක් ලැබෙනු ඇති බව සෞඛ්‍ය සහ පරිසර විචාරකයෝ පෙන්වා දෙති. නව නීතිමය රාමුව ක්‍රියාත්මක වීමත් සමඟ සුනඛයින් ආශ්‍රිතව මතුවන ගැටලු මෙන්ම ජලභීතිකා අවදානමද සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙේ.
















