ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින මතභේද පසෙකලා ඉදිරියට යමින් සබඳතා ශක්තිමත් කර ගැනීමට දෙරට එකඟ වී ඇති බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාවේ පැවති BRICS සමුළුවට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහ්යාන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කර ඇත.
එම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙසෙෂ්කියාන් පවසා ඇත්තේ දෙපාර්ශ්වය අතර “නිර්මාණාත්මක සාකච්ඡාවක්” පැවති බවයි.
එහිදී අතීත ගැටලු පසෙකලා අනාගතය දෙස අවධානය යොමු කරමින් දෙරට එක්ව කටයුතු කිරීමට එකඟ වූ බවද ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ඉරානයට UAE හෝ කලාපයේ වෙනත් රටවල් සමඟ කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමන්ගේ ප්‍රධාන ගැටලුව වන්නේ ගල්ෆ් කලාපයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු බවත් පෙසෙෂ්කියාන් ප්‍රකාශ කර ඇත.
එම කඳවුරු භාවිත කරමින් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවටද ඔහු ඇමරිකාවට චෝදනා කර තිබේ.
UAE ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් තම සහෝදර රටවල් බවත්, දීර්ඝ කාලයක් පුරා එම රටවල් සමඟ එකට ජීවත් වෙමින් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගිය බවත් ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර, ඉරානය සහ ගල්ෆ් කලාපීය රටවල් අතර සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ට ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අනාගතය සහ මැදපෙරදිග ආරක්ෂාව සම්බන්ධයෙන් ඉරානය හා ගල්ෆ් රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම එම සාකච්ඡාවල අරමුණ වී තිබේ.
ලෝකයේ පෙර පැවති තෙල් සැපයුමෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ගමන් කළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින මතභේද මධ්‍යයේ මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, පසුගිය මාසයේදී UAE විසින් ඉරානය සමඟ වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු තාවකාලිකව අත්හිටුවන බවද ප්‍රකාශ කර තිබුණි.













