තමන්ට එරෙහිව එල්ල වී ඇති ඉඩම් ගනුදෙනු චෝදනාවක් මාධ්‍ය මඟින් හෝ ප්‍රසිද්ධ නොකර සිටීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත නැමැත්තා විසින් රුපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් වක්‍රාකාරයෙන් ඉල් සිටි බව සමගි ජන බලවේගයේ පාර්‌ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා දැඩි හෙළිදරව්වක් සිදු කරයි. හදිසි මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම චෝදනාව එල්ල කළ අතර, සිදුව ඇති අපහාසය සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ පාර්‌ශ්ව වෙත එන්තරවාසි යවා ඇති බවත්, ඉදිරියේදී දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් වන්දි ඉල්‌ලා නඩු පවරන බවත් අවධාරණය කළේය.
අදාළ සිදුවීම ප්‍රචාරය කිරීම සඳහා පැමිණිලිකාර පාර්‌ශ්වයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ඉල් ඇති බවත්, එය යටපත් කිරීමට නම් තමන්ගෙන් ලක්ෂ දහයක් වක්‍රව ඉල් සිටි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. කිසිදු වරදක් සිදු කර නොමැති බැවින් සත පහක් හෝ ලබා දීම ප්‍රතික්ෂේප කළ බව පැවසූ ඒ මහතා, එහි ප්‍රතිඵලයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වෙත ගොස් අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් එම ආයතන හෑල්ලුවට ලක් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බව කියා සිටියේය. මීට වසර 15කට පෙර නීත්‍යානුකූලව මිලදී ගෙන විකුණන ලද අදාළ ඉඩම් ගනුදෙනුවට අදාළව මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සියලු අත්සන් නිවැරදි බවට රජයේ රස පරීක්ෂක වාර්‌තා පවා ලැබී ඇති බවත්, බැංකු ගිණුම් හා නීතිඥවරුන් හරහා සියලු ලිඛිත සාක්ෂි පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ස්වාධීන මාධ්‍ය කලාවට සහ සිවිල් ක්‍රියාකාරකම්වලට මුවා වී ඇතැම් පුද්ගලයින් මුදල් ගැරීමේ පහත් ජාවාරමක නිරත වන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, මෙවැනි අසත්‍ය චෝදනා හරහා දේශපාලන වාසි ලබා ගැනීමට කිසිසේත් ඉඩ නොදෙන බව අවධාරණය කළේය. දේශපාලන ක්ෂේත්‍රය තුළ පිරිසිදු ප්‍රතිරූපයක් රඳවා ගනිමින් ජනතා සේවයේ නිරත වන තමන් වැනි ජනතා නියෝජිතයන් ඉලක්‌ක කර ගනිමින් දියත් කරන මෙවැනි කප්පම් ජාවාරම් පරාජය කිරීමට නීතියේ දැඩි රැකවරණය ලබා ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.













