දිවයිනේ ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 45%කට ආසන්න අගයක් ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව මේ වන විට 33%කට ආසන්න අගයක පවතින බව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේය.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල පවතින ජල ප්‍රමාණය මේ වන විට 20%කට ආසන්න අගයක පවතින බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, යල කන්නයේ අවසන් අදියරට මේ වන විට පැමිණ ඇති බැවින් පවතින ජල ප්‍රමාණය කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම එම ජලාශවලින් පානීය ජලය ලබාගන්නා ප්රදේශවලටද මේ වන විට පානීය ජල ගැටලුවක් ඇති නොවනු ඇති බවට අපේක්ෂා කරන බව හේරත් මහතා පැවසීය.
ඉදිරි මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සැලසුම් සකස් කර ඇති අතර, අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වගා කටයුතු හෙට (15) ආරම්භ කිරීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව, අනෙකුත් වාරි ව්‍යාපාරවල මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජලාශවල පවතින ජල ප්‍රමාණය සහ ඉදිරි වර්ෂාපතන පුරෝකථන සැලකිල්ලට ගනිමින් සැලසුම් සකස් කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.














