වයඹ අභිමන් 2026 අධ්‍යාපනික, සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනයේ කෘෂිකර්ම දිනය ඊයේ (13) කුරුණෑගල ජනකලා පදනම් පරිශ්‍රයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.
ඉතිහාසය, කලාව සහ සාහිත්‍ය මෙන්ම කලාකරුවන්, නිර්මාණකරුවන්, ව්‍යවසායකයන් සහ පාසල් දරු දැරියන් ඇතුළු සමස්ත දරු පරපුරේ නිර්මාණශීලී හැකියාවන් ඉදිරියට ගෙන ඒමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේ පෙනෙන සෑම දෙයක්ම සත්‍ය නොවන බවත්, විද්‍යාව මඟින් පෙනෙන දේ පිළිබඳ සත්‍යය තහවුරු කරගත හැකි බවත්ය.
සංස්කෘතිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සොබාදහමෙන් මිනිසාට නොලැබුණු, මිනිසා විසින්ම නිර්මාණය කරගත් දේ සංස්කෘතිය ලෙස හැඳින්විය හැකි බවයි.
එමෙන්ම අධ්‍යාපනයේ අරමුණ ලෝකය තේරුම් ගැනීමත්, එම අවබෝධය ඔස්සේ වඩාත් යහපත් ලෝකයක් ගොඩනැගීමත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ලෝකයේ වැදගත්ම විෂය දේශපාලනය බවත්, පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව තුළ දේශපාලනය නොවැදගත්ම විෂය බවට පත්කර තිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, **“දැන් අපි ඉන්නේ පුනරුද යුගයක”** යනුවෙන් සඳහන් කළේය.














