දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය එන්ජින් 98ක් පැවතියද, මේ වන විට ධාවනය සඳහා යොදාගත හැක්කේ එන්ජින් 50ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවකින් හෙළි වී තිබේ.
දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා එන්ජින් 74ක් අවශ්‍ය වුවද, දැනට ධාවනය කළ හැකි එන්ජින් සංඛ්‍යාව 50ක් දක්වා අඩුවී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
2024 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53ක් පැවති බවද වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, විශේෂයෙන් කාර්යාල දුම්රිය සඳහා භාවිත කරන බලවේග කට්ටල 242ක් සංචිතයේ පැවතියද, මේ වන විට ධාවනයට එක් කළ හැකි මට්ටමේ පවතින්නේ 118ක් පමණක් බව සඳහන් වේ. සාමාන්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා බලවේග කට්ටල 193ක් අවශ්‍ය බවද වාර්තාවේ දැක්වේ.
2024 වසරේදී බලවේග කට්ටල 258ක් සංචිතයේ පැවති අතර, එම කාලයේදී ධාවනයට එක්කර තිබූ සංඛ්‍යාව 148ක් විය.
මෙම එන්ජින් සහ බලවේග කට්ටල හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන බවත්, දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම්ද ඉහළ ගොස් ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති පවසයි.
තම ගැටලු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කළද ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවටද වෘත්තීය සමිති චෝදනා කරයි.
ඒ අනුව පවතින ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති 27ක් එක්ව එළඹෙන 17 වනදා වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුවද මෙම වැඩවර්ජනයට සහය දක්වන බව එහි ලේකම් අනිල් කුමාර නවරත්න මහතා සඳහන් කළේය.
මේ අතර වැඩවර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (14) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
















