ශ්‍රී ලංකාව තුළ වයස සති හයට වැඩි සියලුම ගෘහාශ්‍රිත සුනඛයින් ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර, අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නව පනත් කෙටුම්පතක් ගැසට් නිවේදනයක් ඔස්සේ ප්‍රකාශයට පත්කර ඇත.
මෙම නව පනතට අනුව, බලයලත් නිලධාරියෙකු ඉල්ලා සිටින අවස්ථාවක සුනඛයාගේ එන්නත්කරණ හෝ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයිතිකරුවන්ට දින 14ක සහන කාලයක් හිමිවන අතර, එම කාලය තුළ ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් නියමිත ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් අය කිරීමට යෝජනා කර තිබේ. මීට අමතරව පොදු ස්ථානවල සුනඛයින් අතහැර දැමීම, නීතිවිරෝධී ලෙස වාණිජ මට්ටමින් සුනඛයින් අභිජනනය කිරීම හා අලෙවි කිරීම සප්‍රමාණිකව තහනම් කර ඇති අතර, එම වැරදි සඳහා රුපියල් 10,000 දක්වා දඩ සහ සිරදඬුවම් නියම කිරීමටද පනත මගින් යෝජනා කර ඇත.
















