දේශීයව නිෂ්පාදනය කරනු ලබන පෝෂ්‍යදායී කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම තුළින් ගෘහස්ථ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම, ආහාර නාස්තිය අවම කිරීම සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් මෙම වැඩසටහන් සංවිධානය කරනු ලබයි.
ව්‍යාපෘති ප්‍රතිලාභීන් මෙන්ම අදාළ ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවද ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන් මඟින් දේශීය කෘෂි නිෂ්පාදන සැකසීම, සංරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීමට පියවර ගෙන ඇත.
පලතුරු, එළවළු, පලා වර්ග, ධාන්‍ය, රනිල බෝග, තෙල් සහිත ඇට හා බීජ, බිම්මල්, කිරි නිෂ්පාදන සහ කුළුබඩු ආශ්‍රිතව වියළි ආහාර, ජෑම්, සෝස්, අච්චාරු, පිටි මිශ්‍රණ, කැඳ මිශ්‍රණ, බටර් සහ වෙනත් අගය එකතු කළ නිෂ්පාදන හඳුන්වාදීමද සිදු කෙරේ.
අස්වනු නෙලන කාලයේ සිදුවන පසු අස්වනු හානිය සහ ආහාර නාස්තිය අවම කිරීම මෙන්ම දේශීය ආහාර වසර පුරා භාවිතයට ගැනීමට හැකි වන පරිදි සංරක්ෂණය කිරීම කෙරෙහිද මෙම වැඩසටහනේ විශේෂ අවධානය යොමු කර තිබේ.
එමෙන්ම කාන්තාවන්, ගොවීන් සහ ප්‍රජා කණ්ඩායම් වෙත ආහාර සැකසීම, සුපිරිසිදුබව, ආහාර සුරක්ෂිතතාව, ඇසුරුම්කරණය, ලේබල් කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ දැනුම හා කුසලතා ලබාදීමටද කටයුතු කර ඇත.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ හරහා ග්‍රාමීය කාන්තාවන් සහ ගොවි කණ්ඩායම් සඳහා කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරමින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමටද අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන සහ තාක්ෂණික උපදෙස් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට කැමති ගොවි මහත්ම මහත්මීන්ට සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට SARP ව්‍යාපෘතිය අමතා තොරතුරු ලබාගත හැක.














