බුද්ධ ශාසනය වෙනුවෙන් සිය දරුවන් සසුන්ගත කළ, ස්ථිර නිවසක් නොමැති ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දෙමාපියන් සඳහා නිවාස ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද (14) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.
ඒ අනුව, වැඩසටහනේ සමාරම්භය ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඩුමහුවෙල ග්‍රාම නිලධාරී වසමේ ඉදිකිරීමට නියමිත නිවස සඳහා සැප්තැම්බර් 19 වැනිදා මුල්ගල් තැබීමට නියමිතය.
එමෙන්ම, නිවාස ඉදිකිරීමට අදාළ හිමිකම් පත්‍ර ප්‍රදානයද එදින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරයි.
වැඩසටහනේ පළමු අදියර යටතේ 2026 වසරේ සිට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි උපරිම වශයෙන් නිවාස 1,000ක් ඉදිකර දීමට රජය අපේක්ෂා කරයි.
















