පාරිභෝගිකයන්ට අලෙවි කරන පිරිකර භාණ්ඩ සම්බන්ධයෙන් නිසි තොරතුරු සඳහන් නොකර නීති විරෝධී ලෙස ඇසුරුම් කර අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කරන ලද තායි සිවුරු අලෙවි කළ කොළඹ 10, මරදාන ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ ආයතනයකට රුපියල් 100,000ක (රුපියල් ලක්ෂයක) දඩ මුදලක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) පවසයි.
පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් නිසි තොරතුරු සඳහන් නොකරන ලද තායි සිවුරු 6ක් අලෙවියට තබා තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ ආයතනයට එරෙහිව මෙම නඩු පැවරීම සිදු කර තිබේ. වෙළෙඳපොළේ අටපිරිකර සහ සිවුරු සම්බන්ධයෙන් අඩු ගුණාත්මක භාවයෙන් යුත්, භාවිතයට නුසුදුසු භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳව භික්ෂූන් වහන්සේලාගෙන් ද නිරන්තරයෙන් පැමිණිලි ලැබී ඇති බවත්, ඇතැම් අටපිරිකර ඇසුරුම් තුළ පිරිකරට අදාළ නොවන හෝ ප්‍රායෝගිකව භාවිතයට ගත නොහැකි බාල මට්ටමේ භාණ්ඩ අන්තර්ගත කර ඇති අවස්ථා වාර්තා වී ඇති බවත් බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙති.
















