ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් “ඉදිකිරීම් සහකාරවරුන්” ලෙස පුහුණු කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඉදිකිරීම් කර්මාන්තයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් පැවතියද, තරුණ පරපුර එම රැකියා වෙත යොමුවීම අඩුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙවැනි රැකියා සඳහා “කම්කරුවන්”, “අත්වැඩකරුවන්” සහ “අත්උදව්කරුවන්” වැනි තනතුරු නාම භාවිත වීම, විධිමත් සේවා කොන්දේසි සහ EPF, ETF වැනි සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නොමැති අවිධිමත් රැකියා ලෙස පැවතීම තරුණයින් මෙම ක්ෂේත්‍රයෙන් ඈත්වීමට බලපාන කරුණු ලෙස හඳුනාගෙන ඇත.
එම බාධක ඉවත් කරමින් නිශ්චිත ආදායමක්, ගෞරවනීය තනතුරු නාමයක්, සේවා සුරක්ෂිතතාව සහ වෘත්තීය අභිමානය සහිත රැකියාවක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිංහ රෙජිමේන්තුව, ජාතික ඉදිකිරීම් සංගමය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
වැඩසටහනේ පළමු කණ්ඩායම ලෙස මහවැලි සී කලාපයෙන් තෝරාගත් තරුණයින් 40 දෙනෙකු සඳහා පුහුණුව අද (14) අඹේපුස්ස සිංහ රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.
දින පහක් පුරා නේවාසිකව පැවැත්වෙන මෙම පුහුණුවේදී ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳ මූලික දැනුම, වෘත්තීය හැසිරීම් හා විනය, කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ඇතුළු ක්ෂේත්‍රයට අවශ්‍ය මූලික දැනුම සහ කුසලතා ලබාදීමට නියමිතය.
පුහුණුව සාර්ථකව අවසන් කරන තරුණ තරුණියන් “ඉදිකිරීම් සහකාරවරුන්” ලෙස හඳුන්වා දී, ස්ථිර වැටුප්, EPF සහ ETF ඇතුළු සේවා ප්‍රතිලාභ හා අනෙකුත් දීමනා සහිත රැකියා සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් වෙත සෘජුවම යොමු කිරීමට නියමිතය.
මෙම වැඩසටහන හරහා ඉදිකිරීම් කර්මාන්තයේ පවතින ශ්‍රමික හිඟයට විසඳුමක් ලබාදීමට මෙන්ම, රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය ගෞරවය, ආදායම් ස්ථාවරත්වය සහ සමාජ ආරක්ෂණය සහිත නව රැකියා මාර්ගයක් හඳුන්වාදීමටද අපේක්ෂා කෙරේ.
















