ධීවර කටයුතු පහසු කිරීම සඳහා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුම මේ වනවිටත් ක්‍රියාත්මකව පවතින බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
ධීවරයන්ට මාළු අල්ලන ස්ථාන පිළිබඳ SMS මගින් තොරතුරු ලබාදෙන බවට රජය ප්‍රකාශ කර ඇති බව පවසමින් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් එල්ල කරන විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ධීවර ප්‍රජාව වෙනුවෙන් විශේෂයෙන් හඳුන්වා දී ඇති මෙම ජංගම යෙදවුම මේ වනවිටත් සැලකිය යුතු ධීවරයින් පිරිසක් සාර්ථකව භාවිත කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සාගර දියවැල් සහ සාගර තත්ත්වයන්හි සිදුවන වෙනස්කම් තත්පරයෙන් තත්පරයට යාවත්කාලීන නොවුණද, පැය කිහිපයක් හෝ දින කිහිපයක් තුළ සිදුවන වෙනස්කම් පිළිබඳ නිවැරදි දත්ත මෙම යෙදවුම හරහා ලබාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි තාක්ෂණික ක්‍රමවේද දීර්ඝ කාලයක සිට භාවිතයේ පවතින බවත්, ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව විවේචන සිදු නොකර නවීන තාක්ෂණය පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
“ළිං මැඩියන් සේ නොසිට ළිඳෙන් එළියට පැමිණ ලෝකය දෙස බලන්න” යනුවෙන්ද ඔහු විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියේය.
නූතන තාක්ෂණය සමඟ මෙරට ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේදී ධීවර ප්‍රජාව වෙත මීටත් වඩා නවීන තාක්ෂණික පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බවත් රත්න ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
















