මෙරට සිදුවන සමස්ත මාර්ග අනතුරුවලින් 30%ක පමණ ප්‍රමාණයක් සුනඛයන්ගේ මැදිහත්වීම මත සිදුවන බව වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසයි. කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අනාවරණය වූයේ සුනඛ සපා කෑම් සඳහා ලබාදෙන ජලභීතිකා එන්නත වෙනුවෙන් පමණක් රජය වසරකට රුපියල් බිලියනයක මුදලක් වැය කරන බවයි. අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීම සහ මිනිසුන්ගේ වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් වීදි සුනඛ ගහනය පාලනයකින් තොරව ඉහළ ගොස් රටට දැඩි ආර්ථික බරක් පටවා ඇති බවද එහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම තත්ත්වයට විසඳුම් ලෙස නව පනතක් කෙටුම්පත් කර ඇති අතර, ඊට අදාළව හිමිකරුවන් යටතේ පසුවන සෑම සතෙකුම අදාළ ප්‍රාදේශීය සභාව තුළ අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීම සහ භාරකරුවන් නොමැතිව පාරේ සැරිසරන සතුන්ගේ වන්ධ්‍යාකරණය, එන්නත්කරණය ඇතුළු සමස්ත සුභසාධන කටයුතු ප්‍රාදේශීය සභාව මගින් සෘජුවම භාරගැනීම යන විධිවිධාන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.















