දිනපතා සිදුවන මාරක සහ බරපතළ මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින්, විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් සොයා සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණ දිවයින පුරා තීව්ර කර තිබේ. රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව දිවයිනේ සියලුම රථ වාහන ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවයි.
මෑතකදී සිදුවූ මාර්ග අනතුරු පිළිබඳ සිදුකළ විශ්ලේෂණයකදී මත්ද්‍රව්‍ය භාවිතය, බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී ලෙස රිය හැසැරවීම සහ අධික වෙහෙස මාරක අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම ටිපර් රථ, ලොරි රථ, ත්‍රීරෝද රථ සහ මගී බස් රථ රියදුරන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම හදිසි පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. මේ වන විටත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇත.
යම් බස් රථ රියදුරෙකු අධික වේගයෙන්, තරඟකාරී ලෙස හෝ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අවිනීත ලෙස රිය පදවන්නේ නම්, ඒ පිළිබඳව 070 47 55 600 යන WhatsApp අංකයට වාහනයේ අංකය පැහැදිලිව පෙනෙන සේ වීඩියෝ පටයක් ලබාදී තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එලෙස ලැබෙන තොරතුරු මත පදනම්ව තරාතිරම නොබලා අදාළ පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.














