දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස විපතට පත්ව ගේදොර, හරකබාන සහ වතුපිටි සම්පූර්ණයෙන්ම අහිමිවූ මහවැලි ‘සී’ කලාපයට අයත් රන්හෙලගම, සල්පිටිගම, සේරුපිටිය සහ වෑබඩගම යන ගම්මානවල අසරණ වූ පවුල් සඳහා නව නිවාස තනා ගැනීම වෙනුවෙන් මාවනාගම ගම්මානය ආශ්‍රිතව මහවැලි අධිකාරියට අයත් භූමියකින් වෙන් කර පිහිටුවන ලද “පුනරුදගම” නව ගම්මානය සඳහා හිමිකම් පත් ප්රදානය කිරීම සහ නිවසක් තනා ගැනීම සඳහා ප්‍රතිලාභී පවුලකට හිමි වන රුපියල් ලක්ෂ පනහක මුදලේ මුල් වාරිකය ලබා දීම ඊයේ (14) පෙරවරුවේ උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.
දිගාමඩුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කැවිණි. ඊට දිගාමඩුල්ල දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති, දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු රත්වත්තේ මහත්මිය, අම්පාර දිසාපති අනුපම මංගල වික්‍රමාරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙහිඅත්තකණ්ඩිය මහවැලි අධිකාරියේ නේවාසික කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
මෙහිදී විපතට පත් ප්‍රතිලාභී පවුල් 77ක් සඳහා හිමිකම් පත් සහ මූල්‍ය ආධාර චෙක්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් අතින් ප්රදානය කරනු ලැබූ අතර, අදාළ නිලධාරීන් විසින් සියලු ප්‍රතිලාභීන් සඳහා ඔවුන්ට හිමි ඉඩම් කොටස් ස්ථානීයව වෙන් කර පෙන්වා දීමද සිදු කරන ලදී.














