පෘථිවිය වටා කක්ෂගත ප්‍රදේශයේ අවි ස්ථානගත කර ඇති බව ඇමරිකාව පළමු වරට තහවුරු කර තිබේ.
ඇමරිකානු අභ්‍යවකාශ හමුදාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, සතුරු පාර්ශ්වයන්ගෙන් එල්ල විය හැකි ක්‍රියාමාර්ගවලින් තම හමුදා ආරක්ෂා කිරීම සඳහා කක්ෂගත අභ්‍යවකාශ පාලන අවි පවතින බවයි.
කෙසේ වෙතත්, එම අවි මොනවාද, ඒවායේ ප්‍රමාණය හෝ ඒවා ස්ථානගත කර ඇති නිශ්චිත ආකාරය සම්බන්ධයෙන් ඇමරිකාව විසින් වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.
මෙම ප්‍රකාශයත් සමඟ ලෝක බලවතුන් අතර අභ්‍යවකාශයේ හමුදා හැකියාවන් වර්ධනය කිරීමේ තරගය තවදුරටත් උණුසුම් විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
චීනය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින්, අභ්‍යවකාශය ආයුධකරණය කිරීම, එය යුධ පිටියක් බවට පත් කිරීම සහ එහි අවි තරගයක් ඇති කිරීම වැළැක්විය යුතු බව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම රුසියාවද අභ්‍යවකාශය කිසිදු ආයුධයකින් තොර ප්‍රදේශයක් විය යුතු බව අවධාරණය කර ඇත.
තාක්ෂණික දියුණුවත් සමඟ ප්‍රධාන රටවල් අභ්‍යවකාශයේ හමුදා හැකියාවන් වේගයෙන් වර්ධනය කරමින් සිටින නමුත්, එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පුළුල් ජාත්‍යන්තර නීතිමය රාමුවක් තවමත් නොමැති වීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.
විශ්ලේෂකයින් පවසන්නේ ඇමරිකාවේ මෙම අනාවරණය මෙතෙක් පැවති සැකයක් තහවුරු කිරීමක් වුවද, එය ප්‍රකාශයට පත් කළ අවස්ථාව හේතුවෙන් ඇමරිකාව, චීනය සහ රුසියාව අතර අභ්‍යවකාශ ආයුධ තරගය තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් පවතින බවයි.














