ශ්‍රී ලංකාවේ උපත ලද දේශපාලඥයෙකු වන කැම්සි ගුණරත්නම් (Kamzy Gunaratnam) නෝර්වේ රාජ්‍යයේ නව ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස පත්ව තිබේ. ජොන්-ඉවාර් නයිගෝඩ් (Jon-Ivar Nygård) වෙනුවට ඇය මෙම ධුරය සඳහා නෝර්වීජියානු රජය විසින් සැප්තැම්බර් 11 වන දින නිල වශයෙන් පත් කර ඇති අතර, ජනතාව සහ භාණ්ඩ ප්‍රවාහන ප්‍රතිපත්ති මෙන්ම තැපැල් සේවාවන් පිළිබඳ වගකීම ඇය වෙත පැවරී ඇත.
1988 වසරේ ශ්‍රී ලංකාවේ යාපනයේදී උපත ලබා ඇති ඇය, කුඩා අවදියේදී පවුලේ අය සමඟ නෝර්වේ වෙත සංක්‍රමණය වී ඇති අතර, ලේබර් පක්ෂය හරහා නෝර්වීජියානු දේශපාලනයට පිවිස ඇත. 2007 වසරේදී, අවුරුදු 19ක් පමණක් වයසැතිව ඔස්ලෝ නගර සභාවට තේරී පත් වූ ඇය, 2015 සිට 2021 දක්වා ඔස්ලෝ නගරයේ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙසද කටයුතු කළාය. 2021 වසරේදී නෝර්වේ පාර්ලිමේන්තුවට (Storting) තේරී පත් වූ ගුණරත්නම් මෙනවිය, 2025-2029 ඞාළාව සඳහාද නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
2011 වසරේ උටෝයා (Utøya) හි පැවති ලේබර් පක්ෂ තරුණ කඳවුරකට එල්ල වූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අයෙකු වන ඇය, නෝර්වේ දේශපාලනය තුළ නිරත වන අතරතුර ශ්‍රී ලංකාවේ සංවර්ධන හා මානව හිමිකම් සම්බන්ධයෙන්ද නිරන්තරයෙන් අවධානය යොමු කර ඇත. පසුගිය පෙබරවාරි මාසයේදී නෝර්වේ පාර්ලිමේන්තු විවාදයකදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය මතු කරමින්, යාපනයේ චෙම්මනි සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් සහ අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ඇය දැඩි අවධානයක් යොමු කළාය.














