කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පවුල් ලක්ෂ 5කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් කළුගඟ ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කර නියමිත කාලසීමාව තුළ අවසන් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජයිකා ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ඝන මීටර් 140,000ක ධාරිතාවකින් යුත් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිතය.
ඊට අමතරව ජල ගබඩා කුලුනු සහ අවශ්‍ය නල පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක්ද ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
ව්‍යාපෘතියේ සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 73ක් වන අතර, නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘතිය අවසන් කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
මෙරට ජයිකා ප්‍රධාන සම්බන්ධීකාරක Honzu Shigeo මහතා ඇතුළු ජයිකා නියෝජිත පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරයා, ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහුද සහභාගී වූහ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි ප්‍රමාදයන් අවම කරගනිමින් අදාළ සියලු පාර්ශ්වයන් අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර තිබේ.














