මැදපෙරදිග යුද අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල ඉහළ යෑම නිසා බදු සහන ලබා නොදුනහොත් මෙරට ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 530 දක්වා ඉහළ යෑමේ දැඩි අවදානමක් මතු වී තිබේ.
බාබ් අල් මැන්ඩෙබ් සහ හෝමුස් සමුද්‍ර සන්ධි ආශ්‍රිතව උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සහ නෞකාවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් සිංගප්පූරු ප්ලැට්ස් වෙළෙඳපොළේ ඩීසල් බැරලයක මිල ඩොලර් 180 සීමාව ඉක්මවා තිබීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත.
මෙම ගෝලීය සැපයුම් දාම අර්බුදය නිසා ආනයනික ඩීසල් ලීටරයක මූලික පිරිවැය සහ ප්‍රවාහන, රක්ෂණ වාරික ඇතුළු ගොඩබෑමේ වියදම් ඉහළ ගොස් ඇති අතර, වත්මන් මිල සූත්‍රය හා බදු ප්‍රතිශතයන්ට අනුව පාලන මිලක් රඳවා ගැනීමට රජය විසින් කඩිනම් මූල්‍යමය හෝ බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.
ඉන්ධන ආනයන වියදම පෙර වසරට සාපේක්ෂව සියයට 68ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබීම හමුවේ, මෙලෙස අඛණ්ඩව ඉහළ යන ගෝලීය තෙල් මිල මෙරට විදේශ විනිමය සංචිතයට මෙන්ම දේශීය උද්ධමනයටද බරපතළ පීඩනයක් එල්ල කරන තීරණාත්මක සාධකයක් වී තිබේ.














